Analyse

Sunday, November 14, 2021

මානව වර්ගයා සඳහා විශ්ව න්‍යායන්

 

                            භාවනානුයෝගී ඉරියව්වක්                                            ඔබ සමීපව අවධානයෙන් නම්, විශ්වය ජීවමාන බව ඔබට දැනේවි....                                         

ප්‍රඥාව හරහා මානව ඉතිහාසය - දළ විශ්ලේෂණය


මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිටම, ඔවුන්ට තේරුම්ගත නොහැකි දෙයක් ඔවුන් අත්විඳිමින් සිටිති.  මුල් මිනිසුන්ගේ ප්‍රාථමික මොළයට ගින්න පවා පුදුමයක් විය. ගිගුරුම්, කුණාටු, විදුලි කෙටීම් ඔවුන් බියට පත් කලේ ය.  බියෙන් වුවද, ඔවුන් ඒ දේවල් ගැන බොහෝ කුතුහලයෙන් සිටියහ. එබැවින් ඔවුන් පරීක්ෂා කිරීමට පටන් ගත්හ. ඔවුන් ඉගෙන ගැනීමට පටන් ගත්හ. ඔවුන් වරක් බියට පත් කල දේවල් ප්‍රයෝජනයට  ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට පටන් ගත්හ ඔවුන් ඉගෙන ගත් තරමට, ඔවුන් තවත් දේ දුටුවෝය. නමුත් ඔවුන් කොතරම් දුටුවාද, ඔවුන් කොතරම් ඉගෙන ගත්තාද, "යමක්" තවමත් තමන්ට ඉහළින් ඇති බව ඔවුන්ට දැනුනි. වසර දහස් ගණනක් ගෙවී ගියේය මනුෂ්‍ය වර්ග්යාද, මනුෂ්‍ය මොලයද දියුණුවට පත් විය. ඔවුන් පුදුම සහගත රහස් අනාවරණය කර ගත්හ. ඔවුන් පුදුම සහගත බලවේගයන් හෙළිකර ගත්තෝය. එහෙත්, අද පවා, මෙම නවීන හොඳින් දියුණු ලෝකයේ ද "යමක්" තවමත් මිනිස් මනසට ඉහළින් පවතින බව පෙනී යයි. මිනිසුන් කොතරම් ඉහළින් ඉගෙන ගත්තාද, මිනිසුන් කොපමණ දේවල් සොයා ගත්තාද, තවමත් අවබෝධයෙන් ඔබ්බට යමක් එහි ඇති බව පෙනේ. මේ සොයා නොගත් දේ, මේ සොයා නොගත් ප්‍රදේශය ඇත්තේ තාක්ෂණයේ පමණක් නොවේ නමුත් ජීවිතයේ සෑම සිදුවීමකම තවමත් සොයා නොගත් දෙයක් පවතී. එය භෞතික, මානසික, සමාජීය, අධ්‍යාත්මික, දාර්ශනික ආදී සෑම දෙයකම පවතී. ඔබ එය නම් කරන්න, එම සොයා නොගත් ප්‍රදේශය එහි තිබේ.

ගිනි ගොඩක් අසල සිටින මිනිසුන්


   යමෙකුට මගෙන් ප්‍රශ්න කළ හැකිය, "ඉතින් මොකද? කවුරුවත් සර්වසම්පූර්ණ නැහැ, මිනිසුන් වැඩිපුර ඉගෙන ගනීවි, තවත් සොයා ගනීවි, එය දිගටම පවතිනු ඇත. එය එසේ වේවි."  මම එය පිළිගනිමි. මම කියන්නම්, "ඔව් එහෙම තමයි" කියලා. නමුත් අවසානයේ "නමුත්" යන වචනය ඇත. නමුත් මානව වර්ගයාගේ දියුණුව තුළ මගහැරුණු දෙයක් නැද්ද? වේදනාව, දුක, රෝගාබාධ, ජීවිතයේ ගැඹුරු අසාර්ථකත්වය ආදි ජීවිතයේ සමහර ප්‍රදේශවල මිනිසුන් සම්පූර්ණයෙන්ම අසරණ වන්නේ ඇයි? මෙතරම් දියුණු වූ මිනිසා මෙතරම් අසරණ වන්නේ ඇයි? මා කියන්නේ ඊට හේතුව මානව වර්ගයා ඔවුන්ගේ සංවර්ධන ප්‍රගතියේදී යම් දෙයක් දරුණු ලෙස මග හැරීමයි.
   ඔබ ප්‍රමාණයෙන් විශාල වස්තුවකට ඉතා සමීපව සිටින විට, ඔබේ දර්ශනය සම්පූර්ණයෙන්ම එම වස්තුවෙන් ආවරණය වේ. එවිට ඔබට පෙනෙන්නේ එම වස්තුව පමණි. ඔබ දැකිය යුතු වස්තුව එය වුවත් නැතත් ඔබ දකින එකම දෙය එයයි. එබැවින්, ඔබ, සත්‍යයක් හෝ පරම සත්‍යයක් ලෙස ඔබ දුටු දෙය පිළිගනී. මෙම තත්වය තුළ ඔබ නොදැනුවත්වම සිරකරුවෙකු බවට පත්වේ.. කැමති වුනත් නැතත් එකඟ වුනත් නැතත් ඔබට දකින්නට ඇත්තේ එය පමණි. ඔබ ජීවත් විය යුතු ස්ථානය මෙයයි. වෙනත් වචන වලින් කිවහොත්, මෙයින් අදහස් කරන්නේ "ඔබ මෙම පද්ධතියේ සිරකරුවෙකු විය" යන්නයි. ඒ ඉතිහාසය පුරාවටම මානව වර්ගයා විසින් ගොඩනැගූ ක්‍රමයයි. "ඉතින් මොකක්ද? කවුරුවත් සර්වසම්පූර්ණ නැහැ, මිනිස්සු තව ඉගෙන ගනීවි, තව තවත් හොයාගනියි, ඒක දිගටම යනවා. එහෙම තමයි" යනුවෙන්  සමහරුන් කියන්නේ ඒ නිසාය. ඔබ ඔබේ සම්පූර්ණ දර්ශනය ආවරණය කරන දැවැන්ත වස්තුවකට ඉතා සමීපව සිටගෙන සිටින්නාක් මෙන්, ඔබ ඉතිහාසය පුරා මිනිසුන් විසින් වර්ධනය කරන ලද පද්ධතියට ඉතා සමීපව ජීවත් වේ. එබැවින් ඔබේ දැක්ම යනු පද්ධතිය ඔබට ලබා දෙන දර්ශනයයි. ඔබ මේ පද්ධතියේ සිරකරුවෙක් වී සිටින බව මා කීවේ එනිසාය. ඔබ සිරකරුවෙකුව සිටින තාක් ඔබට සම්පූර්ණ පින්තූරය දැකිය නොහැක. ඔබට සත්‍යය දැකිය නොහැක.

විශාල ගසක් අසල සිටින පුද්ගලයෙක්


   මා මෙහිදී ඔබට නිදස් වීමේ මාර්ගය පෙන්වන්නම්. මෙය නව මාවතකි. ඔබ සිරකරුවෙකු නොවන, ජීවිතය තුල විඳවීමකට ලක් නොවන නව මානයකට මේ මාවත ඔබව ගෙන යනු ඇත. වෙනත් වචන වලින් කිවහොත් 'ලෝකමය න්‍යායන්' යටතේ ජීවත් වනවා වෙනුවට ඔබ 'විශ්ව න්‍යායන්' යටතේ ජීවත් වනු ඇත. එහිදී ඔබ 'විශ්වීය' වන්නේ ය. මනුෂ්‍ය වර්ගයාගේ සන්වර්ධන ප්‍රගතියේදී යමක් මග හැරී ඇති බව මා පෙර සඳහන් කලෙමි.  ඒ කුමක්දැයි අපි විමසා බලමු. මේ පද්ධතියට ඉතා ලන්ව සිටින තාක් ඔබට එය දැකිය නොහැකිය. එබැවින් ඔබ දුරකට යා යුතුය. (Distance view) ඔබ දුර සිට දැකිය යුතුය. එහෙත් මේ 'සිර කඳවුරෙන්' ඉවත් වීම පහසු දෙයක් නොවේ. මන්ද යත් ඔබට හැඟෙන, ඔබ දකින මේ සියල්ල ඔබ තුලට මේ පද්ධතිය විසින් එන්නත් කරන ලද එවා බැවිනි. ඒවා ඔබේ මුලු ශරීරයට, මනසට හා ඔබේ මුලු අභ්‍යන්තරයට එන්නත් කරනු ලැබ තිබේ. නමුත් "විශ්වීය වීමෙන්" ඔබට ප්‍රමාණවත් දෙයක් ලබා ගත හැකි නම්, ඉවත්වීම කොතරම් දුෂ්කරද වුවද, ඔබ එය කරනු ඇත.
   අපි මානව වර්ගයාගේ ආරම්භයට යමු. ගල් යුගයට යමු. එහි "මිනිසා" යන්තම් නිරුවතින් ගල් ගුහාවක ජීවත් විය. ඔහුට අයිති කිසිවක් තිබුණේ නැත. සමහර විට ඔහුගේ අතේ ලී මුගුරක් තිබුණා විය හැකිය. ඔහු සෑදුවේ එපමණය. ඔහු නිර්මාණය කළේ එපමණය. ලී මුගුර හැර, බල්ලෙකු ඔහු අසල වාඩි වී සිටියා විය හැකිය. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ මනසින් එහි යන ලෙසයි. එම පරිසරය දැකීමට සහ දැනීමට උත්සාහ කරන්න. ඔහු වටා මිනිසා විසින් සාදන ලද කිසිවක් නොතිබුණි. සොබාදහම පමණි. වනාන්තරයක් හෝ කාන්තාරයක් හෝ තණකොළ තැනිතලාවක් එහි විය. අවට බලන්න, විනාඩි කිහිපයක් එහි ජීවත් වීමට උත්සාහ කරන්න.

ගල් යුගයේ පවුලක්


   දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ඇස් අරින්න. වටපිට බලන්න. ඔබට වෙනස දැකිය හැකිය. ඔබ දකින සෑම තැනකම මිනිසා විසින් සාදන ලද දේවල් ය. එය කොතරම් සුවිශාල වෙනසක්දැයි ඔබට සිතාගත හැකිද? සුවපහසු නිවසක්, යහන්, රූපවාහිනී, ස්මාර්ට් ජංගම දුරකථන, පරිඝනක සහ තවත් බොහෝ උපාංග තිබේ. මේ සියල්ල මිනිසා විසින් සාදන ලද ඒවාය. ඒ දේවල් පෘථිවියට ආවේ වෙනත් ග්‍රහලෝකයකින් නොවේ. එසේනම් ඒ දේවල් ආවේ කොහෙන්ද? මෙම දැනුම, තාක්ෂණය පැමිණියේ කොහෙන්ද? ඒ සියල්ල පැමිණියේ පොලොවේ පසිනි. විශ්මිත ලෙස වර්ධනය වූ මිනිස් මොලය මගින් මහ පොලොවෙන් මේවා මතු කර ගත්තේ ය. බාහිර අවකාශයකින් කිසිවක් පැමිණියේ නැත. මෙම වෙනස සිදු වීමට වසර මිලියන ගණනක් ගත වූ බව සැබෑය. නමුත්, එය ආශ්චර්යයක් නොවේද?. අප කවුරුත් දන්නා පරිදි, මිනිසාගේ ප්‍රාථමික මොළය වැඩිදියුණු වීමට වසර මිලියන ගණනක් ගත වුවද, සියවස් කිහිපයකට පෙර, එය වේගයෙන් දියුණු වීමට පටන් ගත්තේය. "ආශ්චර්යය" වේගයෙන් සිදු වීමට පටන් ගත්තේය. ඉතින්, ඔබ වටා ඇති මේ සියල්ල මිනිසාගේ වැඩිදියුණු වූ මොළයේ ප්‍රතිඵලයකි. එහෙත්, මානව වර්ගයාගේ සංවර්ධනයේ ප්‍රගතියේදී මග හැරෙන්නේ කුමක්ද? වේදනාව, දුක, විශාල අසාර්ථකත්වයන් ඇති වන්නේ ඇයි? මේ තරම් පුදුමාකාර මිනිස් මොළය සමහර සිදුවීම් වලදී සම්පූර්ණයෙන්ම අසරණ වන්නේ ඇයි?

දුර දර්ශනය


   ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්නට නම් අප සිටින තැනින් ඉවතට යා යුතුය. ඉතිහාසය පුරා නිර්මාණය වූ මේ ක්‍රමයෙන් අප ඉවතට යා යුතුය. දුරස්ථ ස්ථානයකට ගිය විට, ඔබට සම්පූර්ණ පින්තූරය දැක ගත හැකි වනු ඇත. මිනිස් මොළය විසින් නිර්මාණය කරන ලද පද්ධතියට අප බැඳී සිටින තුරු, අප සියල්ලන්ටම පෙනෙන්නේ පින්තූරයේ එක් කොටසක් පමණි. එම කොටස භෞතික කොටසයි. ඒවා මානව වර්ගයාගේ දියුණුවේ  පෙනෙන ප්‍රතිඵලයන්ය. (visible results). සාමාන්‍යයෙන් සියල්ලන්ම දකින්නේ එයයි. සියල්ලන්ගේම අවධානය යොමු වන කොටසද එයය. බොහෝ අය දියුණු කිරීමට උත්සාහ කරන්නේද එයයි. මඳක් නවතින්න. මිනිසා සෑදී ඇත්තේ මොළයෙන් පමණක්ද? එසේත් නැත්නම් මේ ශරීරය පමණක් මිනිසකු ලෙස හැඳින්විය හැකිද? ඒ අර්ථයෙන් ගත් කල සංවර්ධනය දෘෂ්‍ය ප්‍රතිඵල පමණක්මද? දියුණුවේදී මනුෂ්‍ය වර්ගයාට මග හැරී ඇත්තේ මෙයයි. එය නම්, මිනිසාගේ අදෘශ්‍යමාන කොටස වර්ධනය කිරීම මානව වර්ගයාට මග හැරී ඇත. කුමක්ද ඒ අදෘශ්‍යමාන කොටස? මක්නිසාද යත් මිනිසෙක්, පුද්ගලයෙකු යනු සමහර කොටස්වල එකතුවකි. භෞතික දෙයකට වඩා වැඩි යමක් එහි තිබේ. අපි මුලින්ම දකින්නේ දෘශ්‍යමය කොටසයි . ශරීරයයි. නමුත් ශරීරය පමණක් මිනිසෙක් නොවේ. මිනිසෙකු, පුද්ගලයෙකු, තුළ අවම වශයෙන් කොටස් පහක් වර්ගීකරණය කළ හැකිය. 1. ශරීරය, 2. මනස, 3. අධ්‍යාත්මය / ආත්මය, 4. සමාජීය 5. ආර්ථිකමය. යනුවෙනි.
   අපි එම කොටස් පහේ ප්‍රස්ථාරයක් නිර්මාණය කළහොත්, මිනිසුන් දෘශ්‍යමාන කොටස් කෙරෙහි වැඩි අවධානයක් සහ නොපෙනෙන කොටස් කෙරෙහි අඩු අවධානයක් යොමු කරන බව ඔබට පෙනෙනු ඇත. ප්‍රධාන වශයෙන් ශරීරය හා ආර්ථිකමය. සමාජීය වශයෙන් තරමක් අවධානයට ලක් විය හැක. මනස සහ අධ්‍යාත්මය/ආත්මය, අංශ ඉතා අඩු අවධානයක් ලබා ගනී. මොළය දියුණු කිරීම සහ මනස දියුණු කිරීම එකම දෙයක් නොවේ. මන්ද මනස යනු මොළය පමණක් නොවන බැවිනි. මනසට අධ්‍යාත්මයේ / ආත්මයේ ලක්ෂණ ඇත. මොළය යම් නිශ්චිත විෂයයක් හෝ එකකට වඩා ඉලක්ක කරයි.
   මා ඔබට සිතා බැලීමට යමක් ලබා දෙන්නම්.
   ඔබ සිතින් ගල් යුගයට ගිය විට එම ජීවිතය කෙතරම් ප්‍රාථමිකදැයි ඔබ දුටුවේය. ඔබ නැවත නවීන ලෝකයට පැමිණි විට, එය කෙතරම් දියුණු වී ඇත්දැයි ඔබ දුටු අතර එය ආශ්චර්යයක් මිස අන් කිසිවක් නොවේ. එබැවින් මිනිසුන්ගේ භෞතික ලෝකය වැඩිදියුණු කිරීමේදී සිදු වී ඇත්තේ ආශ්චර්යයකි. මා ඔබට සිතාබලන්නට දෙන්නේ මෙයයි. එලෙසින් ද්‍රව්‍යමය ලෝකයේ ආශ්චර්යයක් සිදුවුනා නම්, ද්‍රව්‍ය නොවන ලෝකයේ ද මිනිසුන් ඒ අයුරින්ම දියුණු වුවහොත් එය කෙබඳු වෙයිද? ද්‍රව්‍යාත්මක පැත්තෙන් සිදු වූ ලෙසම ආධ්‍යාත්මික පැත්තෙන්ද ආශ්චර්යයක් සිදුවුනා නම්? එසේ වූවා නම් අද මනුෂ්‍ය වර්ගයා කොහි සිටිනු ඇත්දැයි ඔබට සිතාගත හැකිද? එය නම් අන් යමක් නොව අමරණීයත්වයයි!

ගල් යුගයේ පවුලක් සහ නවීන පරිඝණක මැදිරියක්


මෙම බ්ලොගය සංවාදයට විවෘතයි. මම කියන දේට ඔබ එකඟ නොවුණත් ඔබේ අදහස් බෙදාගන්න පුළුවන්. මම ආයෙත් කියනවා, මිනිස්සු භෞතික පැත්ත දියුණු කළා වගේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තත් දියුණු කළා නම් අද මිනිස්සු අමරණීයයි. මේ ලෝකය ස්වර්ගය මිස අන් කිසිවක් නොවනු ඇත! නමුත් සිදුවූයේ "ස්වර්ගයක්" බිහි වීම වෙනුවට මිහිපිට "අපායක්" බිහි වීමය. නිශ්චිතව දක්වන්නේ නම්, මනුෂ්‍ය වර්ගයාගේ අසමතුලිත ප්‍රගතිය නිසා පෘථිවියේ ඇති වූයේ අපායකි. එය මානව වර්ගයාගේ අධ්‍යාත්මික පැත්තෙන් සිදු වූ පසුගාමී ක්‍රියාවලියක් බව පැවසිය හැකිය. මුල් මිනිසුන් තම පැවැත්ම සඳහා එකට දඩයම් කළහ. නූතන මිනිසා තම බලය වැඩි කර ගැනීම සඳහා එකිනෙකා දඩයම් කරයි. මේ ආකාරයට මිනිසුන් ආධ්‍යාත්මික පැත්තෙන් ආපස්සට ගිය ආකාරය තව තවත් කිව හැකිය. එහෙත් මා ඒවා කියන්නට යන්නේ නැත. ඒ වෙනුවට මා එක් දෙයක් මතක් කරන්නම්. ඔබට මතක ඇති මා සඳහන් කලා ගල් යුගයේ මිනිසා ළඟ බල්ලෙකු වාඩි වී සිටින්නට ඇත කියා. ඒ බල්ලා තාක්ෂණයෙන් දියුණු වූයේ නැත. ඒ  බල්ලා තවමත් එහෙමම ය. නිරුවතින් ය. ඒකා තවමත් මිනිසා ළඟ පසෙකින් වාඩි වී සිටී. මා ඔබට කිවහොත් 'ඒ නොදියුණු බල්ලාගෙන් ඉගෙනගන්නට දේවල් මේ දියුණු මිනිසාට ඇත' කියා, ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද? මෙම බල්ලා තවමත් මිනිසුන්ගේ මිතුරෙකි, මෙම බල්ලා තවමත් මිත්‍රශීලී ය, ආදරය සහ සැලකිල්ල දක්වයි. එපමණක්ද නොව,  මිනිසා ආරක්ෂා කරයි. තවද  සැමවිටම පක්ෂපාතී වේ. සමහර වෙලාවට මිනිස්සුන්ට බල්ලාගෙන් සාරධර්ම ඉගෙන ගන්නට සිදුවී ඇතැයි ඔබට හිතෙන්නේ නැද්ද? කණගාටුවට කරුණක් වුවත්, එය බොරුවක් නොවේ.
   ඔවුන්ගේ සංවර්ධන ප්‍රගතිය අතරතුර මිනිසුන් විශාල වැරැද්දක් කළහ. එය පොඩි වැරදීමක් නොවීය. එය තවත් ආශ්චර්යයක් නතර කිරීමට තරම් විශාල විය. එමගින් නැවතුනේ ද්‍රව්‍යමය පැත්තේ වර්ධනයේ දී සිදු වූවා හා සමාන තවත් ආශ්චර්යයකි.

දරිද්‍රතාවයේ දරුවන්

ඉහත ඔබ දකින්නේ මිනිසාගේ අසමතුලිත ප්‍රගතිය මගින් ජනිත කරන ලද එක් උදාහරණයක් පමණි. තවත් ඇති තරම් පෙන්විය හැකිය. එහෙත් මෙහි මා කරන්නට යන්නේ එය නොවේ. මා උත්සාහ කරන්නේ මිහිමත මෙවන් අවාසනාවන්ත දේ සිදුවීම නතර කිරීමට අවශ්‍ය පිලිතුර සැපයීමට ය.

මිනිසාගේ සංවර්ධන ප්‍රගතියේදී මගහැරුණේ කුමක්ද?


අපි නැවත සාකච්ඡාවට යමු. මිනිසුන්ට ද්‍රව්‍යමය නොවන/ආධ්‍යාත්මික පැත්ත මගහැරීමට හේතුවක් තිබිය යුතුය. අප කතා කළ පරිදි, මුල් මිනිසුන් ඔවුන්ට තේරුම් ගත නොහැකි දේ ගැන කුතුහලයෙන් සිටියහ. ඔවුන් බිය වූහ. සමහර විට ඔවුන් බියෙන් පැන දිව්වා  විය හැකිය. නමුත් නැවතත් ළං වී යම් අවබෝධයක් ලබා ගත්හ. ඔවුන් වරක් බිය වූ දෙය ඔවුන්ගේ ජීවිතය පහසු, සුවපහසු, බලවත් කිරීමට භාවිතා කළ හැකි බව දුටු පසු, ඔවුන් එය අල්ලා ගත්හ. සෑම විටම ඔවුන් අලුත් දෙයක් දකින විට, මෙය ප්‍රතික්‍රියාව විය. සත්‍යයක් ලෙස අපගේ අවධානය වඩාත් දෘශ්‍යමාන සහ වඩාත් ආකර්ශනීය හෝ සම්පූර්ණයෙන්ම අලුත් දෙයකට ප්‍රථමයෙන් යොමු වේ. මෙම කරුණ මුල් මිනිසුන්ටද බලපෑවේය. යමක් වෙත ආකර්ෂණය වීමට හේතු දෙකක් තිබේ. 1. එය වඩාත් දෘශ්‍යමාන සහ වඩාත් ආකර්ෂණීය හෝ සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් විය යුතුය. 2. ජීවිතය පහසු, සැපපහසු සහ බලවත් කිරීමට එම දෙය භාවිතා කළ හැකි විය යුතුය. මෙය ලෞකික/ලෝකමය සිද්ධාන්තයක් ලෙස නම් කළ හැකිය. එය ලෞකික/ලෝකමය ආකර්ෂණය පිළිබඳ න්‍යාය ලෙස නම් කරමු. මෙම ලෞකික න්‍යාය මුල් මානවයන් කෙරෙහි ද බලපෑවේය ගල් යුගයෙන් පසුවත් ලෝකඩ යුගයෙන් පසුවත්, යකඩ යුගයෙන් පසුවත් අදත් එය සිදුවෙමින් පවතී. මිනිසුන්ට පෙනෙන ස්වභාවික ශක්තීන් සියල්ලම පාහේ හඳුනා ගැනීමෙන් පසුව, ඔවුන්ගේ අවධානය යොමු වන්නේ අන් අය කරන, නව නිපැයුම් දෙසටය

මුල් යුගයේ ගුවන් යානයක්


මේ අතර නොපෙනෙන පැත්තටද අවධානය යොමු කරන පිරිසක් පෙනී සිටියහ. දාර්ශනිකයන්, අධ්‍යාත්මික නායකයින් සහ මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයින් ද ඒ අතර විය. ක්‍රිස්තු පූර්ව 6 වැනි 7 වැනි සියවස් වල මුල්ම දාර්ශනිකයන් වාර්තා විය. එබැවින් සමහර අය ද්‍රව්‍යමය නොවන දේවල් කෙරෙහි ද අවධානය යොමු කළ බව පෙනේ. පසුව ජේසුස්, බුදුන්, මොහොමඩ් සහ තවත් බොහෝ අධ්‍යාත්මික නායකයින් ද්‍රව්‍යමය / අධ්‍යාත්මික නොවන පැත්ත ගැන කතා කළහ. මිනිසුන් ඔවුන් වටා එක්රොක් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ලොවට ආගම් බිහි විය. එම අධ්‍යාත්මික නායකයින් ලෝකය සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට සහ ද්‍රව්‍යමය නොවන අංශයෙන් ද දියුණු වූ වඩා හොඳ තැනක් බවට පත් කිරීමට නිවැරදි මාවත මිනිසුන්ට පෙන්වා දුන් බවට සැකයක් හෝ තර්කයක් නැත. නමුත් එම ආධ්‍යාත්මික නායකයින් නිවැරැදි මාවත පෙන්වූ පසුවත්, ඔවුන් වටා මිනිසුන් එක්රොක් වූවත්, 'ඇයි' යන වචනය සමග ප්‍රශ්නාර්ථයක් තවමත් ඉතිරිව තිබේ. ඇයි තවමත් යුද්ධ? ඇයි තවමත් දුප්පත්කම? ඇයි තවමත් මිනිසුන්ට ජීවිතය විඳවන්නට සිදුවී ඇත්තේ ?

ආගමික සලකුණු


තවමත් විඳවීම ඇයි?


ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික නායකයින් මිනිසුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දුන් පසුවත්, මිනිසුන් විශාල වශයෙන් ඔවුන් වටා එක්රැස් වූ පසුවත්, ලොව පුරා බොහෝ ආගම් ඇති වූ පසුවත්, තවමත් මිනිසුන් විඳවන්නේ ඇයි? කිසිම සැකයකින් තොරව යම්කිසි වැරැද්දක් සිදුවී ඇත. ගැටලුවක් විසඳීම සඳහා  ප්‍රශ්නය ඇතිවීමට අදාල ප්‍රධාන හේතුව කුමක්දැයි සොයා බැලිය යුතුය. මෙම සාකච්ඡාවේදී අපට පෙනී ගියේ මිනිසුන් ද්‍රව්‍යමය නොවන/අධ්‍යාත්මික පැත්තෙන් ප්‍රමාණවත් තරම් දියුණු වී නොමැති බවයි. නමුත් ලෝකයේ බොහෝ ආගම් පවතින අතර ලෝක ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් ආගමක් අදහති.

  • ක්‍රිස්තියානි ධර්මය                  31.11%
  • ඉස්ලාම්                                   24.90%
  • හින්දු ආගම                            15.16%
  • බුද්ධාගම                                 6.62%
  • ජන ආගම්                               5.61%
  • වෙනත් ආගම්                          0.79%

ලෝක ජනගහනයෙන් 80% කට වඩා ආගමක් අදහන අතර මිනිසුන් තවමත් දුක් විඳිති. නියත වශයෙන්ම යමක් වැරදී ඇත. වැරදුනේ කුමක්දැයි බැලීමට ඔබට නිදහස් මනසක් තිබිය යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ විශ්වීය විය යුතුය. ද්‍රව්‍ය නොවන සිදුවීම් වටා මිනිසුන් එක්රැස් වුවද, ප්‍රතිඵලයන් පෙන්නුම් කරන්නේ සැලකිය යුතු අධ්‍යාත්මික දියුණුවක් සිදුවී නැති බවය. පියවර කිහිපයක් සිදු විය. ආධ්‍යාත්මික නායකයෝ මිනිසුන්ට  කතා කළහ, මිනිසුන්  රැස් වූහ, ආකර්ෂණය පිළිබඳ ලෞකික න්‍යාය සක්‍රීය විය. දැන් ඔබට මගෙන් ප්‍රශ්න කළ හැකිය. අධ්‍යාත්මික නායකයින් ද්‍රව්‍යමය නොවන / අධ්‍යාත්මික  පැත්ත ගැන මිනිසුන් සමඟ කතා කළහ. එසේනම් ආකර්ෂණය පිළිබඳ ලෞකික න්‍යාය එහි ක්‍රියාත්මක වූයේ කෙසේද? ද්‍රව්‍යමය ලෝකයේ භාවිතය සඳහා අල්ලා ගැනීමට එහි තිබුණේ කුමක්ද? ඔබ නිවැරදිය, ද්‍රව්‍යමය ලෝකයට නැඹුරු ජීවිතය වැඩිදියුණු කිරීමට භාවිතා කළ හැකි දෙයක් එහි නොතිබුණි. එහෙත්, නැවතත් "නමුත්" යන්න ඉතිරිව ඇත. ද්‍රව්‍යමය ලෝකය සඳහා කිසිවක් නොතිබූ නමුත් මිනිසුන් අවට රැස් වෙමින් සිටියහ. නමුත් ද්‍රව්‍යමය නොවන අධ්‍යාත්මික පැත්ත දියුණු වූයේද නැත. ප්‍රඥාවට අනුව එසේ නොවීමට හේතුව මෙයයි. ආධ්‍යාත්මික නායකයන් කතා කරන අතර මිනිසුන් වටේ රැස් වූ අතර යමක් සිදුවිය. මිනිසා විසින් සාදන ලද දෙයක් එහි මතු විය. දැන් ඔබට එය කුමක්දැයි අනුමාන කළ හැකිද? එය ආකර්ෂණය පිළිබඳ ලෞකික න්‍යාය සක්‍රිය විය හැකි යමකි. ආධ්‍යාත්මික නායකයන් ලෞකික රාජ්‍යයක් බිහි කිරීමට මිනිසුන්ව මෙහෙයවූයේ නැත. ලෞකික රාජ්‍යය  එහි තිබූ අතර එය සීමාව ඉක්මවා යමින් තිබුණි. නමුත් ලෞකික නැඹුරුවක් ඇති මිනිසුන් අධ්‍යාත්මික නායකයින්ගේ දැක්ම අපයෝජනය කරගනිමින් යමක් නිර්මාණය කලහ. ආගම් වශයෙන් හැඳින්වෙන්නේ එයයි. ආගම තුළ මිනිසුන් ලෞකික වටිනාකම් ඇති කිරීමට සමත් විය. අධ්‍යාත්මික නායකයන් විසින් දේශනා කරන ලද ධර්මිෂ්ඨකම තුළ, ලෞකික රාජ්‍යයක් බිහි කිරීමට මිනිසුන්ට කිසිදු අවස්ථාවක් නොපෙනුණි. ඒ නිසා ඔවුන් අධ්‍යාත්මික නායකයන්ගේ වචන පාවිච්චි කර ආගම් නිර්මාණය කලේය. මුදල්, බලය, කීර්තිය වැනි ලෞකික වටිනාකම් බදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය තරම් අවස්ථාවන් ආගම තුළ ලැබී ඇත. දැන් ඔබට පෙනෙනවා ඇති ආධ්‍යාත්මික නායකයින් සහ මිනිසුන් අතර ඇති වූ බාධකය.

ආගම් බාධකයක් වූ හැටි


අධ්‍යාත්මික නායකයින් මිනිසුන් සමඟ කතා කළ එම දර්ශනයම ආගම් හරහා එන විට මිනිසුන් අධ්‍යාත්මික දියුණුවට පත් නොවන්නේ කෙසේද? පිළිතුර ඉතා පැහැදිලිව ප්‍රඥාවෙන් පෙන්වයි. ආධ්‍යාත්මික නායකයෝ ධර්මිෂ්ඨකම ගැන මිනිසුන්ට දේශනා කළහ. ධර්මිෂ්ඨකම විශ්වීය ය. ආධ්‍යාත්මික නායකයින් මිනිසුන් සමඟ ආදරය (මිනිස් ආදරය නොවේ) ගැන කතා කළහ. ආදරය දිව්‍යමය හා විශ්වීය ය. නමුත් ආගම් මිනිසුන්ට දේශනා කළේ ආගමකි. දිව්‍යමය ආදරයවත්, නියම ධර්මිෂ්ඨකමවත් එහි දේශනා කෙරුණේ නැත. සෑම ආගමකටම අවශ්‍ය වන්නේ තම ආගම හොඳම ආගමයැයි පෙන්වීමට සහ වැඩි පිරිසක් තම ආගමට ගැනීමට ය. එබැවින් ආගම විශ්වීය නොවේ. ආගම් ද මිනිසුන් සමඟ ආදරය ගැන කතා කරයි, නමුත් මිනිසුන්ව විශ්වීය, දිව්‍යමය ප්‍රේමයට යොමු නොකරයි. අධ්‍යාත්මික නායකයන් මිනිසුන් සමඟ කතා කරන විට ඔවුන් ප්‍රඥාවේ වචන කතා කළහ. ඔවුන්ගේ දැක්ම විශ්වීය විය. ප්‍රඥාවේ වචන විශ්වීය ය, ඕනෑම පුද්ගලයෙකුට එය පිළිගත හැකිය. කිසිවෙකුටවත් ඒවා ප්‍රතික්ෂේප කල නොහැකිය. නමුත් ආගමක් කතා කරන විට අනෙක් ආගම්වලට එය ප්‍රතික්ෂේප කළ හැකිය. අනෙකුත් සියලුම ලෞකික කණ්ඩායම් මෙන්ම ආගම් ද මිනිසුන් බෙදීමකට ලක් කරයි.. එබැවින් මිනිස් වර්ගයාට නිවැරදි මාර්ගය අහිමි විය. ඔබගේ නිවසේ බොහෝ ඔරලෝසු ඇති විට සහ එක් එක් ඔරලෝසුව විවිධ වේලාවන් පෙන්වන විට, ඔබට නිවැරදි වේලාව කුමක්දැයි සොයා ගැනීමට නොහැකි වී ඔබ අතරමං වෙයි. විවිධාකාර ආගම්ද විවිධ වේලාවන් පෙන්වන ඔරලෝසු මෙනි. ආගම් නිසා මිනිසුන්ගේ ද්‍රව්‍යමය නොවන/ආධ්‍යාත්මික පැත්ත දියුණු වීමේදීද  සිදු වූයේ අබඳුම අතරමං වීමකි.
   මෙම ද්‍රව්‍ය නොවන පැත්තේ ද ආකර්ෂණය පිළිබඳ ලෞකික න්‍යාය සක්‍රීය වූ ආකාරය මම ඔබට පෙන්වන්නම්. යම් පුද්ගලයෙක් හෝ ආගමික කණ්ඩායමක් තමන් ආගම් තුළ හොඳම අය බව පෙන්වීමට උත්සාහ කරන විට, ආකර්ෂණය පිළිබඳ ලෞකික න්‍යාය ක්‍රියාත්මක වේ. එහිදී එය ද්‍රව්‍යමය නොවන නමුත් "අපි හොඳම සහ අනෙක් අය අපට වඩා පහත්" බවට පත් කිරීමට 'ද්‍රව්‍යමය නොවන / අධ්‍යාත්මික ආශාවක්' (spiritual desire) ඇති වේ.  ආගම් නිසා ඉතිහාසයේ බොහෝ යුද්ධ ඇති වූයේ එබැවිනි.
    මා මෙලෙස කතා කරන නිසා මා අදේවවාදියෙක් ලෙස නොසිතන්න. මා එවන් වූ කිසිදු කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැත. මම ප්‍රඥාවේ වචන කතා කරනවා පමණි.
   අපි දුර දර්ශනයකට ගොස් මෙතෙක් ඉතිහාසය පුරාවට වැරදී ඇති දේ සහ මග හැරුණු දේ දුටුවෙමු. ඒ වැරදි නිසා ලෝකය නොවිය යුතු තැනක් බවට පත් විය. සිදු වූ දෙය සිදු වී ඇත. නමුත් එය වෙනස් කල හැක. විසඳුමක් තිබේ. මේ ලෝකය වඩා හොඳ තැනක් කිරීමට ක්‍රමයක් තිබේ. ඊළඟට අපි බලමු මිනිසුන්ට කළ හැකි දේ.

මිනිසුන් කොයිබට යා යුතුද? ප්‍රඥාවේ මග පෙන්වීම


විශ්වයට මිනිසුන් සඳහා සැලැස්මක් ඇත. මිනිසෙක්, මිනිසෙක් විය  යුතු ආකාරය. මනුෂ්‍ය වර්ගයා යා යුතු තැන. ප්‍රඥාව තුළින් විශ්වය මඟපෙන්වීම ලබා දෙයි. මඟ පෙන්වීම පමණක් නොව, විශ්වය සැමවිටම උදව් කිරීමටද සූදානම්ය.
   මා ඔබට කතාවක් කියන්නම්.
   එකමත් එක කාලයක ගොවියෙක් සිටියේය. ඔහු කුකුලන් ඇති කල අතර කුකුලන්ව කූඩුවක තබා ගත්තේ ය. දිනක් මේ ගොවියා දර සොයන්නට කැලයට ගියේය. ඔහු දර සොයනා අතර කුරුල්ලෙකු බිම වැටී සිටිනවා දුටුවේ ය. ඔහු ළංව බැලූ කල ඒ රාජාලි පැටවෙකු බව ඔහු දුටුවේ ය. රාජාලි පැටවා ගැන සානුකම්පිත වූ ගොවියා ඒකාව ගෙදර ගෙන ආවේය. ඔහු රාජාලි පැටවා සිය කුකුල් කූඩුවේ තබා එහි වැඩෙන්නට හැරියේය. කාලය ගෙවී ගියේ ය.  දිනක් මේ ගොවියාගේ මිතුරෙකු ඔහු හමුවන්නට පැමිණියේය. මිතුරන් දෙදෙනා කතාබහ කරමින් ඔබ මොබ සක්මන් කරමින් සිටියහ. එක්වරම මිතුරා පුදුමයට හා කලබලයට පත් වූ සෙයකි. ඔහු දැවන්ත රාජාලියෙකු කුකුල් කූඩුවක් තුල සිටින බව දැකීම හේතුවය. "ඇයි මේ රාජාලියෙක් කුකුල් කූඩුව ඇතුලේ? ඒකා ඔබේ කුකුලන්ව කා දමාවි" මිතුරා එසේ කී කල ගොවියා මෙසේ පිලිතුරු දුනි.  "ඔහේ ඇති රාජාලියෙක් නෑ. ඒකා කුකුලෙක්." මිතුරා අන්දමන්ද වී නැවත වඩා වුවමනාවෙන් බැලීය. එහි සිටින්නේ රාජාලියෙකි. "ඔහේට පිස්සුද? මේකා රාජාලියෙක්" මිතුරා නැවත කීය. මෙහිදී ගොවියා තත්වය පැහැදිලි කලේ ය. " ඔව් ඕකා පෙනුමෙන් නම් රාජාලියෙක් තමයි. ඒත් අනෙක් හැම ආකාරයෙන්ම ඕකා නිකම්ම කුකුලෙක් විතරයි."  ඒ ඇසූ මිතුරා රාජාලියා ගැන බොහෝ කණගාටුවට පත් විය. ඇතුලාන්තයෙන් කුකුලෙකු වී සිටින නමුදු ඒකා හොඳින් වැඩුණු අලංකාර රාජාලියෙකි. "මේකාට ඉගිලෙන්නට පුලුවන්ද?" මිතුරා ඇසීය. "පුලුවන්. ඒත් කුකුලෙක් වගේ බොහොම ටික දුරයි." ගොවියා පිලිතුරු දුනි. "මේක හරි අපරාදයක් නෙව." මිතුරා බොහොමත්ම කණගාටුවෙන් ය. "මේකාව මට දෙන්න. මම මේකාව රාජාලියෙක් කරන්නම්." "ඒකනම් කරන්න බැරි වෙයි. ඒත් ඔනෙනම් අරන් යන්න. මට ඕකාගෙන් වැඩක් නෑ."  ගොවියා කීවේ ය. ඉතින්  මිතුරා රාජාලියාව රැගෙන ගියේය.

කුකුල් කූඩුවක සිටින කුකුලන්


මේ මිතුරාට රාජාලියන් සහ උන්ගේ ගති පැවතුම් ගැන යම් අවබොධයක් තිබුණි. රාජාලියන් කූඩු සදන්නේ උස් කඳු මුදුන් වල බවද ඔහු දැන සිටියේ ය. මේ මිතුරාට රාජාලියන් සහ උන්ගේ ගති පැවතුම් ගැන යම් අවබොධයක් තිබුණි. රාජාලියන් කූඩු සදන්නේ උස් කඳු මුදුන් වල බවද ඔහු දැන සිටියේ ය. ඔහු රාජාලියාවද රැගෙන කඳකට යන්නට පිටත් විය. එය හිමිදිරි උදෑසනකි. හිරු නැගෙන්නට පෙර කඳු මුදුනකට යාමට ඔහුට වුවමනා විය. හිරු නැගෙද්දී රාජාලියන් පිටතට පැමිණ නැගෙන හිරුට මුහුණ දී අහසට නගින බව ඔහු දැන සිටි බැවිනි.  ඉතින් ඔහු රාජාලියා රැගෙන උස් කඳු මුදුනකට නැග්ගේ ය. හිරු නැග එද්දී ඔහු රාජාලියාව දෝතින්ම හිරු දෙසට එසවීය. උදා හිරු කිරණ රාජාලියාගේ මුහුණ මත වැටෙද්දී යමක් සිදුවන්නට පටන් ගත්තේ ය. රාජාලියා තියුනු හඬක් නැගීය. ඌ උගේ ජීවිත කාලය තුලදී එක් වරක් වත් එවන් හඬක් නගා තිබුනේ නැත. ඊලඟට ඒ අලංකාර දැවැන්ත පියාපත් දිග හැරුණේ ය. නැවතත් තියුණු නාදයක් සමගින් ඊලඟ තත්පරයේදී රාජාලියා අහසට නැඟුණේ ය.

ඉගිලෙන රාජාලියෙක්


රාජාලියා කඳු මුදුනට ගිය විට, රාජාලියා සිටිය යුතු තැන සිටි විට, රාජාලියා බලයේ උල්පත සමඟ මුහුණට මුහුණ ලා සිටිනා විට, අභ්‍යන්තරික නියම ස්වරූපය අවදි වී ය. දැන් මා කියන්නට යන දෙය ඔබට පැහැදිලිද? ඔබ දුටුවා කූඩුවක් තුල කුකුලන් සිටින ඒ පින්තූරය. ඒ තමයි දැන් මේ ලෝකය තුල මිනිසුන් සිටින ආකාරය. ඒ කූඩුව සෑදී ඇත්තේ මිනිස් සංකල්ප වලින්. මිනිසුන් විසින්ම සාදන ලද විවිධාකාර වූ සංකල්ප වලින් ඔවුන්ම සිරගත වී ඇත. වර්ගය, පාට, ආගම, දේශපාලනය, ජාතිකත්වය පවා, ඒ  කුමක් වුවත් ඒ මඟින්  මිනිසා විශ්වීය වීම වලකන්නේ නම්, එය කූඩුවකි. කුකුල් කූඩුවක් මෙනි. ඔබ දුටුවා රාජාලියා අහසට පියාඹන ආකාරය. මිනිසුන් එසේ විය යුතුයි. මිනිසුන්ද කඳු මුදුනට යා යුතුය. ශක්තියේ ප්‍රභවය සමග මුහුණ්ට මුහුණ් ලා සිටිය යුතුය. අභ්‍යන්තරික නියම ස්වරූපය අවදි වන්නේ එවිටය. අභ්‍යන්තරික සැබෑ ස්වරූපය අවදි කර ගන්නේ කෙසේද යන්න "කෙසේද" පිටුවෙන් ඔබට කියවිය හැකිය.

සුපර්මෑන් පෘථිවියට ආවේ ඇයි?


මා ඉහතින් පෙන්වා දුන් පරිදි, මිනිසුන් කූඩුවේ සිටින කුකුලෙකු වනවා වෙනුවට අභ්‍යන්තර සැබෑ පැවැත්මට අවදි විය යුතුය. සැබෑ අභ්‍යන්තර ස්වභාවය තේරුම් ගෙන රාජාලියෙකු විය යුතුය. මා ඔබට කියන්නේ මිනිසා සුපිරි ජීවියෙකි. මිනිසුන් යනු මෙම අනන්ත බලවත් විශ්වයේ කොටසක් බැවිනි. ඔවුන් සුපිරි ජීවියෙකු වීමට සැලසුම් කර ඇති බව මිනිසුන් දන්නේ නැත. නමුත් ඔවුන් එයට කැමතිය. මේ කැමැත්ත මනුෂ්‍යයා විසින් ඔහු තුල නිර්මාණය කරගන්නා ලද්දක් නොවේ. එය එසේ වන්නේ මනුෂ්‍යාගේ අභ්‍යන්තරික ගැඹුරෙහි ඒ සුපිරි ස්වභාවය සැඟවී ඇති බැවිනි. ඒ අභ්‍යන්තරික  ස්වභාවය බලවත් එකකි. මිනිසුන් සුපිරි වීමට කැමතිය. නමුත් ප්‍රඥාවට විවෘත නොවීම නිසා ඔවුන්ට එය කළ නොහැකිව සිටිති. ප්‍රඥාවට විවෘත නොවීම නිසාඔවුන්ට මාර්ගය නොපෙනේ. . මිනිසුන් යමකට කැමති නමුත් එය ලබා ගැනීමට නොහැකි වූ විට, ඔවුන් ඒ ගැන සිහින දකින්නට පටන් ගනී. ඒවා විචිත්‍ර මනස්කල්පිත (fantasy) සිහිනයන්ය. ඒ මනස්කල්පිතයන් මගින් මිනිසා කතා නිර්මාණය කලේය. තාක්ෂණයේ දියුණුවත් සමග ඒ කතා සිනමාවට නැගුණේය. සියලුම චිත්‍රපට අතර ෆැන්ටසි චිත්‍රපට ප්‍රමුඛ ස්ථානයක් ගනී. මිනිස්සු ඒ තරමට ෆැන්ටසි වලට කැමතිය. මුහුණු පොතේ (facebook) මා නිර්මාණය කල හවුලක් (a group)  තිබේ. එහි නම වැම්පයර්ස්. එහි සාමාජිකයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් එකතු විය. එහිම මා නිර්මාණය කල තවත් හවුලක් තිබේ. එහි නම මනස් ආයුධය (Mind Weapon). එහි එකතුවූයේ යන්තම් තුන්සියයකට වැඩි සාමාජිකයන් පිරිසක් පමණි. මනඃකල්පිත සඳහා මිනිසුන් ආත්මික පැත්තට වඩා දස ගුණයකින් ආකර්ෂණය වේ. සුපර්මෑන් පෘථිවියට ගොඩ බසින්නේ එලෙසය.
   මෙලොව දිශාභිමුඛ ජීවිතයක් ගත කරන මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නිසා ඒ ෆැන්ටසි සහ ඒ වීරයන් සියල්ල පෙන්වන්නේ මෙලොවට නැඹුරු වූ වටිනාකම් පමණි. එලෙසම ඒ සියලු මනඃකල්පිතයන් යථාර්ථයක් නොවී සදහටම ෆැන්ටසි ලෙස පවතිනු ඇත. නමුත් විශ්වීය දිශානතියේ ජීවිතය තුළ පුද්ගලයෙකුට ෆැන්ටසියෙන් පිටත සුපිරි මනුෂ්‍යයෙකු බවට පත්විය හැකිය. එහෙත් ප්‍රඥාවෙන් තොරව කිසිවකුට සුපිරි මනුෂ්‍යයෙකු වීමේ මාවත දැකිය නොහැකිය. නමුත් එය කළ නොහැකි දෙයක් නොවේ. මූලාශ්‍රයට/විශ්වයට නිසි ලෙස සම්බන්ධ වී ප්‍රඥාවේ මඟ පෙන්වීම ලබා ගන්නේ නම් ඒ සඳහා මඟ පෙන්වීමක් සහ උපකාරයක් ඇත.
   ප්‍රඥාව පවසන්නේ එයය. විශ්වයට වුවමනා කරන්නේද එය ය. මනුෂ්‍යයා කූඩුවෙන් පිටතට පැමිණ සුපිරි මනුෂ්‍යයෙක් වීම ය.

මෙය කියවීම ගැන මම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.. අනෙකුත් පිටු සහ ලිපි සමගද සම්බන්ධ වී සිටින්න.

No comments:

Post a Comment

වැඩිපුරම බලපු ලිපි